මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය අතරින් දෙරණ රූපවාහිනි නාළිකාවේ දිගහැරෙන ‘රාවණා’ ටෙලි නාට්‍යයට සුවිශේෂි තැනක් හිමිවේ. මෙම ටෙලි නාට්‍යයේ සටන් ශූරියක් වන ‘මාලනි’ චරිතයට පොවන රංගන ශිල්පිනිය සමගින් අද අපි මෙසේ කතා බහා කළේමු. නමින් ඇය කසුනි කාවින්දි වන අතර, මීට සිවුවසරකට පෙර ඇය කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වි ඇති අයෙකි.

සිවුවසරක් තිස්සේ මම මේ ක්ෂේත්‍රයේ කටයුතු කළත් නිර්මාණවලට දායක වුණේ තරමක් අඩුවෙන්. මොකද, මම ලැබෙන හැම නිර්මාණයක්ම භාරගෙන වැඩ කරන කෙනෙක් නොවන හින්දා. ලැබෙන ආරාධනා ගොඩක් හොඳින් තෝරා බේරාගෙන රඟපාන කෙනෙක්. ටෙලි නාට්‍යය ගත්තොත් ඉදිරියට විකාශය වෙන්න නියමිත රොෂාන් රවින්ද්‍ර අයියාගේ ‘තණමල්විල කොල්ලෙක්’කියන ටෙලි නාට්‍යයත් එක්ක ටෙලි නිර්මාණ පහක් වගේ කරලා තියෙනවා. පසුගිය වසරේ දෙරණ සිනමා සම්මාන උළලේදී හෙට දවසේ හොඳම චිත්‍රපටය ලෙස තේරුණු කෞශලය මාධව පතිරණගේ ‘ඉක්කා’ චිත්‍රපටයේ මම රඟපෑවා. එහි මම කළණ කුලසේකර එක්ක ප්‍රධාන චරිතය කළා. ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘ගජමෑන්’ කාටුන් චිත්‍රපටයේ මම මොෂන් කැප්චරින් කියන රංග තාක්ෂණය ඔස්සේයි එහි ප්‍රධාන චරිතය ‘පද්මාවතී’ චරිතය රඟපෑවා. මේ වසරේ තිරගත වෙයි කියලා හිතන චාමර ජනරාජ් අයියාගේ පළමු සිනමා නිර්මාණය වන ‘උතුරු සුළඟ’ කියන චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට දායක වුණා. ඊට අමතරව චිත්‍ර විරමන්, ඉන්දික ෆර්නැන්ඩෝ දෙදෙනාගේ තවත් චිත්‍රපට දෙකකට දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා.