බෑණාට දඬුවම් දීමට දියණියගේ සිරුරට ආවේශ වූ මියගිය පියා
මාලිකාත් අතුලත් විවාහ වුණේ ප්‍රේම සම්බන්ධයකින්. දෙදෙනාම යමක් කමක් තිබුණ පවුල්වල අය. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධයට දෙමාපියන්ගේ අනුමැතිය ලැබුණට පස්සෙ මාලිකාගෙ තාත්තා මාලිකාට දෙන දායාද ගැනත් අතුල සමග ප්‍රකාශ කරල තිබුණා. මාලිකාට තව සොයුරු සොයුරියන් කීප දෙනකුම සිටි නිසා සියල්ලටම සමසේ දේපළ බෙදිය යුතු බැවින් මාලිකා විවාහ වන විට ඇයට තාත්තාගෙන් දායාද වශයෙන් එම දේපළ ලැබුණේ නෑ. සියල්ල පසුව බෙදා වෙන් කර දීමට මාලිකාගේ තාත්තා සිතා ඉන්න ඇති. දේපළ හැරුණු විට මාලිකා වෙනුවෙන් රන් ආභරණ මුදල් වැනි දායාද ඇගේ තාත්තා ඇයට නොදී සිටියේ නෑ.
නමුත් ඇයට පොරොන්දු වූ දේපළ නොදීමෙන් තාත්තා වංචාවක් කළ බවයි අතුලගේ සහ ඔහුගේ පාර්ශ්වයේ අයගේ අදහස වුණේ. මේ ගැන අතුල වරින් වරම ආඩපාලි කියන කොට මාලිකා මානසිකව ගොඩක් අසරණ වුණා. නමුත් ඒ පීඩාව තනිව දරා සිටියා විනා තමාට හිමි දේපළ ලබා දෙන ලෙස ඉල්ලමින් පියාට කරදර කළේ නෑ.
මාලිකා රැකියාවක් කළ කෙනෙක් නොවෙයි. ඇය යැපුණේ අතුලගේ ආදායමින්. මේ නිසා අතුලට තව තවත් ඇයට එරෙහිව වාග් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ලැබුණා. කෙසේ හෝ මේ සිත් වේදනා අතරමැද මාලිකා දරුවකුත් බිහි කළා. ඉන්පසුව වත් දේපළ බෙදා දේවි කියලා අතුල බලාපොරොත්තු වුණත් ඒ අදහස ඉටු වුණේ නෑ. මේ නිසා නොසතුටට පත් අතුල මාලිකාගේ පිටින් තමයි ඒ නොමනාපකම් පිට කර හැරියේ.
මේ අතරතුරදී මාලිකාගෙ තාත්තා අසනීප වුණා. දරුණු ලෙඩක් නොවුණත් ඔහු රෝහලේ පවා නතර කර තිබූ නිසා තාත්තාව බලන්න යන්න මාලිකාට දැඩි වුවමනාවක් ඇති වුණා. නමුත් අතුල ඊට ඉඩ දුන්නේ නෑ. පවුලේ තව දරුවන් සිටින නිසා මාලිකා නොසැලකුවට තාත්තාට අඩුපාඩුවක් සිදු නොවුණත් රෝගීවූ තාත්තාව දැක ඔහුට තමාගේ අතින් බත් කටක් කවන්න වතුර උගුරක් පොවන්න මාලිකාට තිබුණේ ලොකු වුවමනාවක්. නමුත් අතුල කිසිසේත් ඊට ඉඩ දුන්නේ නෑ.
කිසිවකු නොසිතූ විලසින් මාලිකාගේ තාත්තා එම රෝගයෙන් මිය ගියා. මේ ගැන ඇසුවා විතරයි මාලිකාට දැනුණු කම්පනය වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. ඇය තාත්තාගේ මරණය වෙනුවෙන් හඬා වැළපුනේ වියෝ දුක සමග තමාට ඔහු ජීවත්ව සිටියදී සලකන්නට ඉඩක් නොලැබිමේ පසුතැවිල්ල ද දැඩිව සිතට දැනීම නිසයි.
අවමඟුල් කටයුතු වගේම හත් දවසේ දානමාන කටයුතුත් අවසන් වෙලා මාලිකා ආපසු අතුලගේ ගෙදරට ගියා. ඊට සති දෙකකට විතර පස්සෙ මාලිකා අසනීප වෙන්න පටන් ගත්තා. බඩ පපුව දැවිල්ල, සිරුරේ අප්‍රාණික ගතිය, මුළු ශරීරයම කකියන ආකාරයේ වේදනාව වැනි ලක්ෂණ තමයි ඇයට මුලින්ම දැනුණේ. තවත් ටික දවසකට පස්සේ කෑම අරුචිය, නින්ද නොයාම, තරහ යාම, සිරුරට දැනෙන අප්‍රාණික ගතිය වැනි ලක්ෂණ මතුවීම නිසා මාලිකා තවත් අපහසුවට පත් වුණා. මේ සඳහා අතුල ඇයට ප්‍රතිකාර ලබා දුන්නත් එයින් සුවයක් ලැබුණේ නෑ. දැන් මාලිකාගේ ශරීරයත් කෘශ වීමට පටන් අරන්. ඇය දරුවා බලා කියා ගනිමින් ගෙදර වැඩ ටික කළේත් ගොඩක් අපහසුවෙන්. ඔහොම ඉන්න අතරේ එක දවසක හිටි හැටියේ මාලිකාට ආවේශයක් ඇති වුණා. එය සිදු වුණේ සැන්දෑ යාමයක. ඇය ඉන්පසු කතා කළේ ඇගේ තාත්තාගේ කට හඩින්.
“මම ලෙඩ වෙලා ඉස්පිරිතාලෙත් හිටියා. ඒත් දුවේ උඹ එක දවසක් වත් මං මැරෙන්න කලින් මාව බලන්න ආවේ නෑ. උඹේ මිනිහා, උඹට එන්න දුන්නේ නෑ නේද?” යි මාලිකා ආවේශ වී පියාගේ කටහඩින් පවසා ඉන්පසු අතුලට පහර දෙමින් ඔහුව සූරන්නට පටන් ගත්තා. ඒ වෙලාවේ ඇය තුළ තිබුණේ ලොකු ශක්තියක්. එනිසා අතුල ඇගෙන් මිදුනේ දැඩි උත්සාහයකින්.
මාලිකාගේ තාත්තා මරණයෙන් පසු භූතාවේශයෙන් මාලිකාගේ ශරීරයට ඇතුල් වී අතුලට හිංසා කරන බවට අතුලගේ නෑදෑයන් අතර ආරංචිය පැතිර ගියේ නිමේෂයකින්. කෙසේ හෝ අවස්ථාවන් කිහිපයකදීම අතුල මෙසේ පහර කෑමෙන් පසු ඔවුන් වහ වහා ගෙදර තොවිලයක් සූදානම් කළා.
තොවිලය ජයටම සිදුවුණත් මාලිකා සාමාන්‍ය තත්ත්වයෙන් සිටියේ දින දෙක තුනක කාලයක් පමණයි. ඊට පසුව නැවතත් පෙර පරිදිම ඇයට පියාගේ ආවේශය ඇති වුණා. බැරිම තැන අතුල මාලිකාව රෝහලට එක්කරගෙන ගියේ ඇගෙන් පහර කෑම නිසා ඔහු බොහෝ පීඩාවට පත්ව සිටීම නිසයි.
මාලිකාට තිබුණේ පියාගේ ආවේශයක් හෝ භූත දෝෂයක් නොවෙයි. ඇයට තිබුණේ මානසික ආබාධයක්.
තමන්ගේ රෝගී වූ පියාට සලකන්න වත් අඩුම තරමින් ඔහුව බලන්නටවත් අවස්ථාව නොලැබිම මත මාලිකා විශාල මානසික අවපීඩන තත්ත්වයකට පත් වුණා. ඒ අනුව ඇය විශාද (Depression) රෝගියකු වී සිටියා. ඒ අතර පියාට නොසැලකීම නිසා තමා අතින් විශාල වරදක් සිදුවී තිබෙන බවට ඇතිවූ හැඟීමත් ඇය තුළ තිබූ මානසික පීඩනය වැඩි කිරීමට සමත් වුණා.
ඇයට මුලදී ඇතිවූ සියලු කායික රෝග ලක්ෂණ විශාද රෝගය නිසා හට ගන්නා ලද ඒවායි. සාමාන්‍යයෙන් පිරිමියකු තුළ මානසික පීඩනයක් ඇතිවුණාම ඔහු කෝපය තුළින් එය පිට කර හරිනවා. සමහරු මත්පැන් පානය කිරීමටත් පෙළඹෙනවා. නමුත් ආසියාතික කාන්තාවගේ මේ මානසික පීඩනය පිටතට එන්නේ මුළු ශරීරයේම දැනෙන වේදනාව, පපුව දැවිල්ල, බඩ දැවිල්ල වැනි ගැස්ට්‍රයිටිස් ලක්ෂණ ආදියෙන්. මේ කාන්තාවටත් මුලදී වෛද්‍ය ප්‍රතිකාර ගැනීමේ දී එන්ඩොස්කොපි පරීක්ෂණය තුන් වතාවක් සිදුකර තිබුණේ ඇගේ ගැස්ට්‍රයිටිස් ලක්ෂණ නිසයි. සිරුරේ අප්‍රාණික ගතිය, සුළු වැඩක් කළත් ලොකු මහන්සියක් දැනීම, හිතේ බර ගතිය, මොනදේ කළත් සිතේ සතුටක් නැති වීම එදිනෙදා ජීවිතය තුළ බොහෝ දේ අමතක වීම, තරහ පාලනය කර ගැනීම අපහසු වීම ආදී වශයෙන් මාලිකාට දැනී තිබූ ලක්ෂණ සියල්ලම විශාද රෝගයේදී දැකිය හැකි ඒවායි. විශාද රෝගය පිටතට එළි දැක්වෙන එක් ආකාරයක් තමයි විඝටනාබාධ (Dissociative disorder) මානසික ආබාධ තත්ත්වය. විඝටනාබාධයේ ප්‍රතිඵලයක් ලෙස තමයි ඇයට තම පියා ආවේශ වීමක් පෙන්නුම් කළේ. මෙය සැබෑවටම මිය ගිය පියා ආවේශ වීමක් නොවෙයි. ඒ වගේම මාලිකා අනිත් අය ඉදිරියේ රඟපෑමක් කළත් නොවෙයි. ඇයට සැමියා කළ වරද වෙනුවෙන් සාමාන්‍ය පීඩනයේදී සැමියාට දඬුවම් කරන්න බෑ. එනිසා ඇගේ යටිසිත එයට උපක්‍රමයක් යෙදුවා. ඒ තමයි ඇයටත් නොදැනී මෙසේ ආවේශයක් ඇතිකිරීම. එසේ නැතිව පියා භූතයකු වී පැමිණීමත් නොවෙයි.
මාලිකාට මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම තුළින් ඇය සාමාන්‍ය තත්ත්වයට පත් කර ගන්නා අතරේ සැමියාට ඇය හා එක්ව මිය ගිය පියා වෙනුවෙන් පින්කම් සිදුකරන ලෙස අවවාද හා උපදෙස් දුන්නා. එයද ඇගේ මානසික රෝගය සුවපත් වීම සඳහා හේතු වුණා.
මානසික රෝග විශේෂඥ වෛද්‍ය අරුණී අබේසිංහගේ වෘත්තීය අත්දැකීමක් ඇසුරිනි
lakbima
No comments:
Post a Comment