ලැබුණා තුණ්ඩුවක් තරුණියගෙන් මොනවාද ලියා කියවා බැලුවාම පෙනුණා රෑ තරු දවල් තියා
කලක් ගම්බද පාසලක ගුරුවරයෙක් විදිහට වැඩ කරලා එක්තරා නොහොබිනා වැඩක් නිසා රස්සාව තහනම් කරගත්තු, ඊට පස්සේ පුද්ගලික පන්ති පවත්වමින් ජීවිකාව ආරම්භ කරපු මිල්ටන් වයස තිස් අටක් හතළිහක් වුණත් මල්සරා අතේ තියාගෙන ඉන්න මනමාල කුරුල්ලෙක් කිව්වාට ඒකේ ඇති වරදක් නැහැ.
මඟුල් ගෙදරකට, මළ ගෙදරකට, පන්සලකට, දන්සලකට, උත්සවේකට, කොටහළුවකට නෙවෙයි ඉස්පිරිතාලෙට ගියත් මිල්ටන් උත්සාහ ගත්තේ කවුරුහරි කාන්තා පරාණයක් දැලේ දාගන්න.
පොළවල්වලදී, පෝලිම්වලදී, තොරණපොළවලදී අනවශ්‍ය ආකාරයේ ඇඟෑළුම්කම් පාන්න ගිහින් සෙරෙප්පු ප්‍රහාරවලට වගේම වාග් ප්‍රහාරවලට ලක්වුවත් තවම මිල්ටන් උපන් ගෙයි ගතිය ඇරගත්තේ නෑ.
කලවානෙ මානාන පැත්තේ තේ අක්කර දෙක තුනක් වවාගෙන ඉන්න තමන්ගේ පාසල් කාලයේ මිත්‍රයෙක් මුණ ගැහෙන්න දවසක් මිල්ටන් උඩවලව හන්දියෙන් කොළඹ බස් එකකට නැග්ගේ රත්නපුරෙන් බහින බලාපොරොත්තුවෙන්.
බස් එකට නැගලා ටික දුරයි ගියේ මිල්ටන්ගේ ඇස් දෙක බස් රථය ඇතුළේ හැම ආසනයක් පාසාම ඇවිදගෙන එක තැනක නැවතුණා. හැඩකාර තරුණියක් හිඳගෙන හිටිය ආසනේ තවත් සීයා කෙනෙක් වාඩිවෙලා. එතැනට කිට්ටු කරපු මිල්ටන් සීයාගෙන් ඇහුවා බහින තැන. සීයා බහින්නේ ගොඩකවෙල. මිල්ටන්ට ඉවසුම් නෑ සීයා බහිනකම්. වෙලාව ආවා.
සීයා බැස්සා. ඔන්න දැන් ඉතින් මිල්ටන්ගේ ඇස් දෙකට නිවනක් නෑ. අර තරුණිය දිහාමයි බලන්නේ. ටිකක් දුර ගියා මිල්ටන් ඇරියා කට. ‘කොහෙද බහින්නේ?’ මිල්ටන් ඇහුව කතා නෑ. ආයිත් ටික වෙලාවකින් මිල්ටන් ඇහුවා ‘කොහෙද බහින්නෙ?’ හිනා වුණා ඒකටත් උත්තර නෑ. දෙතුන් විටක් උත්සාහ කළා. ලස්සනට හිනාවුණා විතරයි. ඒ තරුණිය තමන් අත තිබූ පොතක මොකක්දෝ ලියන බවත් මිල්ටන් දැක්කා. රත්නපුරේදි ඒ ළමයා බැස්සේ පොඩි තුණ්ඩුවක් මිල්ටන් අතට දීලා.
මම ගොළු කෙල්ලෙක්මි මට කළ නොහැක කතා
ඇයි කරදර වෙන්නේ මං ගැන ඔහොම හිතා
දෙන්නං පිළිතුරක් පද හතරකින් ගොතා
මිනිපුර හැටන්ගම මම කේ. සුමන ලතා
rivira
No comments:
Post a Comment