අරලගංවිලට පිටසක්වළින් යළිත් පාෂාණ වැටෙයි
පොළොන්නරුව - බණ්ඩාර මුදියන්සේ, අරලගංවිල - සුදර්ශන බණ්ඩාර
අරලගංවිල වෙහෙරගල කුඹුරකට පෙරේදා (04දා) රාත්‍රි මහ වැසි සමඟ පාෂාණ කොටස් විශාල ප්‍රමාණයක් ඇද වැටී ඇති බව අරලගංවිල පොලිසිය පවසයි. ඉතා කුඩා කැබලි ලෙස කුඹුරේ ලියැදිවල තැනින් තැන විසිරී තිබූ මේ පාෂාණ කොටස් විශාල ප්‍රමාණයක් ඉදිරි අවශ්‍ය කටයුතු සඳහා එම කුඹුරෙන් එකතු කොට පොලිස් ස්ථානයට රැගෙන ආ බවත් අරලගංවිල පොලිස් ස්ථානයේ ප්‍රකාශකයකු 'මව්බිම' වෙත පැවැසීය.
වෙහෙරගල අංක 63 හි පදිංචි තිස් හය හැවිරිදි එච්. ඒ නන්දික ප්‍රියදර්ශන මහතාගේ ඩී 2 / එෆ්. සී. 08 (ච්-2 / ජ් ඛ් 08-40) අංක 40 දරන කුඹුරට මේ පාෂාණ කොටස් වැටී ඇති අතර ඒ මීට පෙර දිඹුලාගල ප්‍රදේශයේ කුඹුරකට උල්කාෂ්ම කොටස් ඇද වැටුණු සීමාවේම කිලෝමීටර් අටකට දහයකට (ගුවනින් කිලෝමීටර්) පමණ මෙහාට වන්නට එකම රේඛාවකය.
කුඹුරේ හිමිකරු නන්දික ප්‍රියදර්ශන මේ පිළිබඳ මෙලෙස අදහස් දැක්වීය.
අයියත් මමත් දෙන්නා පෙරේදා (04දා) සවස 4 හතර පහ විතර වෙනකම් කුඹුර හෑවා. 05දා කුඹුර වපුරන්න හිටියේ. මේ නිසා කුඹුර පෝරු ගෑවා... මේ දවස්වල මෙහාට හවස් වෙනකොට තදින්ම වහිනවා. එදත් පහ විතර වෙනකොට මහ වැස්ස පටන් ගත්තා... අපි හාන එක නවත්වලා ගෙදරට දිව්වා. රෑ හත, හත හමාර වෙනකොට තදින්ම මේ පැත්තට අකුණු ගැහුවා...
අපි උදේ කුඹුරට වපුරන්න එනකොට මීට කලින් දැකලා නැති කොටස් (පාෂාණ කොටස්) විශාල ප්‍රමාණයක් ලියැදිවලත් නියරවලත් විසිරිලා තිබුණා. අපිට මේවා ගැන බයක් හිතුණා. මීට කලින් දිඹුලාගල කුඹුරටත් මේවා වැටිලා තිබුණ බව ටී වී එකෙන්, පත්තරවලින් දැකලා තිබුණා. අපි ඉක්මනට අරලගංවිල පොලිසියට මේ බව දැන්වූවා. ඊට පස්සේ එයාලා ඇවිත් මේ කොටස් පෝර බෑග්වලට එකතු කරගෙන ගියා... නන්දික ප්‍රියදර්ශන එලෙස කීවේය.
මේ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අරලගංවිල පොලිසියෙන් අප කළ විමසුමකදී එහි ප්‍රකාශකයකු පවසා සිටියේ අරලගංවිල පොලිස් ස්ථානයේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති එම්. ඒ. ඩී. ජී. ඒ. මුණසිංහ (පොලිස් පරීක්ෂක) මහතාගේ උපදෙස් මත ඉහළ නිලධාරීන්ට දන්වා ඇති බවයි.
mawbima
No comments:
Post a Comment