උපන් ගෙයිම බිලිඳුන් මරණ රටේ මෙහෙව් අම්මලා ද සිටිති!
හුන්නස්ගිරියේ දෙහිගොල්ලවත්තේ කඳු පල්ලම් වසාගත් මීදුම අතරින් පෙනෙන අම්මාගේ ඡායාව නොපෙනී යන තුරුම සෙල්වම් ඔවුන්ගේ ලැයින් කාමරයේ සිට ඇය දෙස බලා හිඳින්නේ ය.
හිරිගඩු පිපෙන සීතලේ කබායකට ගුලිවී පැයක් දෙකක් උණුසුම්ව හිඳින්නට තිස් පස් වසරක් පුරාම සෙල්වම් ගෙ අම්මට ඉස්පාසුවක් නොවුණි. තේ කහට උගුරකින් සෙල්වම් ගෙ බඩ ගින්දර නිවා, ඉරඑළිය වැටෙන්නටත් කලින් මිදුලට බහින ඇය ගම් මැද්දට ගොඩ වෙන්නේ හිතේ කැකෑරෙන එකම බලාපොරොත්තුවකිනි.
හාල් මිටක්, ලුණු කැට අහුරක්, මිරිස් කරල් දෙක තුනක් ඒ බලාපොරොත්තුව ඉටු කරගන්න ඇයට හොඳටම ප්‍රමාණවත් ය. ගෙන් ගෙට ඇවිද ගොඩ ගැසෙන කිළිටි රෙදි, වළං පිඟන් සෝදන්නට වාරු නැති ගත දරු සෙනෙහස ඉදිරියේ පරාද වන අතරේ උදේ ඉඳන් දොරකඩ අයිනේ මඟ බලා ඉන්න පුතුගේ අහිංසක මූණ ගෙවෙන හැම තත්ත්පරයකම ඈ ඉදිරියේ පෙනී නොපෙනී යයි.
හුන්නස්ගිරි කඳු අතරින් ඉර බහින්නට කලින් ආයෙත් කඳු පල්ලම් බහින ඈ පය ඉක්මන් කරන්නේ මගදී අහුලාගත් දර ඉපල් ටික ළිපට කරන හදිසියෙනි. උදේ ඉඳන් උන්හිටිතැනම බලාගෙන ඉන්න, සෙල්වම් පුටුව මතින් ම ළිප ළඟට ගන්නා ඈ ඇදුම් කන දෙපා පිරිමැද ගන්නටවත් පමා නොවන්නේ ඊටත් වඩා පුතු ගේ කුසගින්දර ඈ දවන නිසා ය.
අම්මාගෙ වෙවුලන අත්දෙක හැලි වළං අතරෙ කඩිසර වෙන සැටි සෙල්වම් බලාගෙන ඉන්නේ කඳුළු පිරුණු ඇස්වලිනි. ඒත් දර ඉපල්වලින් නැඟෙන කහ පාට ගිනි එළියට අම්මාගෙ මූණ එළිය වැටෙනවා බලන්න සෙල්වම් හරි ම කැමැතිය. ඒ දාඩිය බිංදු වැටී දිලිසෙන, ඇයගෙ විඩාබර මූණ සෙල්වම් ගෙ හිත අතීතයට ගෙන යන නිසාය.
ලස්සන මල්වැලකින් කොණ්ඩ කරල සරසා ගෙන, නළල රතු පාට තිලකයකින් හැඩ කරගෙන ඒ කාලේ හැමදාම උදේට දෙවියන් වඳින්න කෝවිලට යන අම්ම හරිම සිරියාවය. දෙවියන් වඳින අතරේ අම්මාගේ අතින්, අප්පගෙ අතට මාරුවෙන සෙල්වම්ට ඈ ගැන හරි ආඩම්බරය. ඒත් ඒ සතුට රැඳුණේ අතේ ඇඟිලිවලටත් වඩා සුළු කාලයකි.
හදිසියේ ම දවසක සෙල්වම්ගේ අප්පා අම්මයි පුතයි තනි කර යන්නම ගොසිනි. එදා ගෙදරට රැස්වුණු මහ සෙනඟ අතරේ අම්මා හඬා වැටුණු තරම් ඔහුට අද වගේ මතකය. ඇස්වලින් ගලන කඳුළු කැට අතරින් බොඳවුණු අම්ම දිහා බලාගෙන ‘කවදාවත් මගෙ අම්ම තනි කරන්නේ නෑ’ කියලයි එදා සෙල්වම් හිතුවේ.
ඒ ප්‍රාර්ථනාව තවමත් බොරු නොවුණත් සෙල්වම් ගේ කුසට අදටත් බත් කටක් වැටෙන්නේ අම්මගේ අත් දෙකෙනි. කකුල් දෙක විතරක් නෙවෙයි. අත් දෙකක් පණ නැති පුතා ගෙ හුස්ම ටික රැකෙන්නේ අම්මගෙ වීරියෙනි. අද සෙල්වම්ට අවුරුදු තිස් පහකි. අම්මට අවුරුදු හැට නවයකි. හරිහමන් කෑමක් බීමක් නැතිව ඕනෑවටත් වඩා ඇඟ වෙහෙසන නිසා සෙල්ලම්මා වයසටත් වඩා වයසට ගොසිනි.
ගතට වාරුවක් ඇත්තේ ම නැති දවසට අම්මයි පුතයි දෙන්නම බඩගින්දරේ. සමහරදාට ලුණු ඇටයක්වත් නැතිව ලිග්ගල් උඩ රත්වෙන හාල්මිටට එකතු වෙන්නේ ගස්වැල්වල කොළ දලු පමණි. කෑමට වස නොවෙන ඕනෑම කොළයක රස මේ අම්මටයි පුතාටයි හොඳට හුරු පුරුදුය. බත් ඇටයක්වත් නැති දාට තම්බ ගත්ත අඹකොළ, කොස් කොළ විතරක් නොවෙයි. දන්න කියන හැම කොළයක් ම තම්බා පොඩි කර ඈ පුතුට කවන්නේ ඔහු ජීවත් කරවන්නය.
පුතු ඔසවාගෙන අඩියක් දෙකක් යන්න තරම් හයි හත්තිය නැතත් ඈ හිතේ හයියෙන් ඒ දේවල් පිරිසිදුව පිළිවෙළට ඉටු කරන්නීය. පුංචි කඳු ගැටයක් උඩ තිබෙන සෙල්වම්ගේ දිරාගිය පැල්පතේ සිට ගම්මැද්දට යන එන පාර ඉතාම දුෂ්කරය.
ගල් බොරලු ගැලවුණු අඩිපාරේ කඳු පල්ලම් බොහොමය. ඒත් ඈ හැමදාමත් උදේ හවස මේ පාරෙන් යන්නේ එන්නේ දෙපයට නැති හයිය හිතට අරගෙනය.
මීට අවුරුදු තිහකට එහා, සැමියා මිය ගියත්, එදා තරුණ වයසේ ඇය හිතට ධෛර්ය ගත්තේ දරු පැටියා ගැන සිතා ය. ඒත් සෙල්ලම්මා ආයෙත් අසරණ වුණේ දරුවා ඇවිදගන්න බැරි අතපය වාරු නැති ලෙඩෙක් බව දැනගත්ත දවසේය. එදා ඉඳන් ඇය ජීවත් වුණේ තමන් ගෙ එකම දරුවා ගේ හුස්ම පොද රැක ගන්නටය.
දරුවට අවුරුදු තිස් පහක් වනතුරුත් ඇගේ ධෛර්යවන්ත බව තවමත් ගිලිහී නොගියේ ඒ අප්‍රමාණ දරු සෙනෙහස නිසාය. එදා පිරිමියකු ගේ හව්හරණක් නැති ගෙදර, සවි ශක්තිය ඇති දොරක් ජනේලයක් නැති පැල්පතක ඈ රෑ පහන් කළේ බයෙන් සැකෙනි. සමහරදාට මහ රෑ වටින් පිටින් ඇහෙන අඩි ශබ්ද ඇයගේ නින්දට බාධා කළේ අනුකම්පාවක් නැතිව ය.
නැවත විවාහ වන්නට ආරාධනා ලැබුණත් ඒ සියල්ල උපේක්ෂාවෙන් විඳ දරා ගත්තේ අතපය පණ නැති අසරණ දරුවා නිසාය. සම වයසේ ගැහැනුන්ගේ ඇනුම් බැනුම්, උපහාස කතා ඉවසන්නට බැරි දවස්වල ඇය ජීවිතේ නැති කරගන්න සිතූ වාර අනන්තය.
ඒත් ඒ හැම වෙලාවකම ඈ ඉදිරියේ මැවී පෙනුෙණ් අහිංසක දරු පැටියගේ අසරණ මූණ ය. කුලී වැඩක් නැති දවසට කුස ගින්නේ අඬන දරු පැටියගේ බඩ පුරවන්න බැරි
ඉස්සර දවසක සෙල්වම් වඩාගෙන ඈ ගිරිකුලට ගියේ අවසන් තීරණයක් අරගෙනය. ‘දුක් කරදර නැති ලෝකෙක මගේ ම දරුවෙක් වෙලා ඉපදියන් පුතේ’ යි කඳුළු පිරුණු ඇස් දෙකෙන් පුතා දෙස බැලූ සෙල්ලම්මගේ මූණ පුංචි අත්දෙකෙන් පිසදැමූ සෙල්වම් ‘අඬන්න එපා අම්මේ, මම ඉන්නවනේ’ යි කිව්වේ දැනුම් තේරුම් තියෙන කෙනෙක් සේය. පුතුගේ ආදරණීය බැල්ම විතරක් නොවෙයි. කතාවත් සෙල්ලම්මගේ හිත ආපස්සට ඇද ගත්තේ ජීවිතේට තවත් ධෛර්ය දෙමිනි.
එදා පටන් දරුවගේ ජීවිතය රැකගන්න මේ අම්ම ජීවිතය කැප කරන්නී අප්‍රමාණ ආදරයකිනි. ඒත් දවසින් දවස දිරාපත් වෙන ඇයගේ සිරුර කුලියක් කරන්නට තවත් නම් ඉඩ නොදෙන බව ඇයට විශ්වාසය. ජීවිතේ අවසාන කාලේ පුතාගෙ හෙට දවස වෙනුවෙන් යාන්තමින් හෝ හිත හදාගන්න, මගක් ලැබේදැයි ඈ බලා සිටින්නීය.
silumina
No comments:
Post a Comment