Breaking News
recent

ගල්තැළුම් කරගැට පිළිකා බවට පත්වන්නේ නෑ...



විශේෂඥ වෛද්‍ය
ආරියසේන යූ. ගමගේ


පීඩාකාරී ගල්තැළුමක් ශල්‍යකර්මයක් මඟින් ඉවත් කළ පසු වන තුවාලය ඉක්මනින් සුව නොවන බව බොහෝ දෙනා ගේ විශ්වාසයයි. මෙහි සත්‍යතාවක් තිබෙනවාද? ගල්තැළුමක් හා යටිපතුලේ ඇතිවන ඉන්නෙක් වෙන්කර හඳුනා ගන්නේ කෙසේද? කරගැට හා ගල්තැළුම් පිළිකාවක පෙරනිමිතිද? අද ඔබ දැනුම්වත් කරන්නේ මේ පිළිබඳවයි.
ගල්තැළුම් හා කරගැට වෙන්කර හඳුනාගන්නේ කෙසේද?
සාමාන්‍යයෙන් යටිපතුලේ ඇතිවන ගනවීම් කරගැට ලෙස හැඳින්වෙන්නේ නෑ. සිංහලයේ දී ඒවා ගල්තැළුම් ලෙස වහරනවා. එහෙත් ඉංග්‍රිසි වහරෙදි මේ දෙවර්ගයම, එනම් සමේ ගනවීමක් පොදුවේ හැඳින්වෙන්නේ ‘කෝන්ස්’ (Corns) ලෙසයි. එම ගනවීම ප්‍රමාණයෙන් විශාල නම් ‘කැලස්’ (Callus) ලෙස හඳුන්වනවා.
කෙසේ වෙතත් යටිපතුලේ ගල්තැළුම් ඇතිවීම වළක්වා ගැනීමට නම් ඔබ කළ යුත්තේ පාදයට ගැළපෙන, සුවපහසු පාවහන් පමණක් පැලඳීමයි. එහිදී මේස් කුට්ටමක් පැලඳීමත් වඩාත් උචිතයි.
යටිපතුලේ ඇතිවන සෑම ගන වීමක් ම ගල්තැළුමක් විය හැකිද?
නෑ. වෛරස් මඟින් හැදෙන ඉන්නන් විශේෂයක් නිසාත් එවැනි ගනවීමක් ඇතිවිය හැකියි. වෙරුකාවක් කියන්නේ එවැනි තත්ත්වයකටයි. යන්තම් තුවාල වූ තෙත් සහිත සම තුළින් ඒ වෛරසය ශරීරයට ඇතුළු විය හැකියි.
පිහිනුම් තටාක, පොකුණු සහ නාන ළිංවල ජලය එකතුවන තැන්වලදී ඉතා පහසුවෙන් මේ වෛරසය ශරීරගත විය හැකි අතර මාස කිහිපයකින් පසු ඒ වෛරසය මඟින් වෙරුකා ඉන්නෙක් ඇතිවිය හැකියි.
වෙරුකා ඉන්නන් වේදනාකාරී ද?
ඔව්. යටි පතුලේ වැඩෙන ඉන්නා සම තුළට තෙරපී ස්නායු පෙළමින් අධික වේදනාවක් ඇති කරන්නට පුළුවන්. එහෙත් එක් වරක් වෙරුකාවක් සෑදුණ පසු ශරීරය තුළ ප්‍රතිශක්තිය වර්ධනය වන නිසා තරුණ කාලයේ දී ඒවා ඇතිවන්නේ ඉතාම කලාතුරකින්.
අවුරුදු හය පමණ වන තෙක් වෙරුකා ඉන්නන් ගැහැනු පිරිමි දෙපක්ෂයටම එක හා සමානව ඇතිවීමේ ඉඩ තිබෙන අතර ඉන්පසු ගැහැනු දරුවන් අතර වැඩිපුර දක්නට ලැබෙනවා.
වෙරුකාවක් සහ ගල්තැළුමක් වෙන්කර හඳුනාගන්නට පුළුවන්ද?
එය තරමක් අපහසු කාර්යයක්. වෙරුකාවක් (ඉන්නන්) සහ සම ගන වීමක් (ගල්තැළුමක්) බැලූ බැල්මට එක හා සමානයි. එහෙත් වෙරුකාවක් සම මතුපිටට දිස්වන්නේ තරමක් කුඩාවට. සම ඇතුළට යන විට එය පිරමීඩයක ආකාරයට පැතිරෙනවා. ගල්තැළුමක ස්වභාවය ඊට වෙනස්. එය සම මතුපිට පැතිරී ඇති අතර සම අභ්‍යන්තරයේ දී ප්‍රමාණයෙන් කුඩා වෙනවා.
වෙරුකාවක් සහ ගල්තැළුමක් පැහැයෙන් සමානද?
වෙරුකා ඉන්නෙකුගේ පැහැය අවට සමෙහි වර්ණයට වඩා වෙනස්, දුඹුරුවන් ස්වභාවයක් ගන්නවා. එහෙත් සම ගන වීමකදී පැහැය අවට සමෙහි පැහැයට සමානයි. ඒ වගේම වෙරුකාවක් මත සමෙහි ඇති සලකුණු දක්නට නොලැබුණත් ගල්තැළුමක සමෙහි සිහින් ඉරි ලකුණු පවා හොඳින් කැපී පෙනෙනවා. එයත් වෙරුකාවක් සහ ගල්තැළුමක් වෙන්කර හඳුනාගත හැකි ලක්ෂණයක්.
වෙරුකා ඉන්නෙක් ඉවත් කිරීමට ප්‍රතිකාර අත්‍යවශ්‍ය ද?
වෙරුකා වෛරසය නිසා හට ගන්නා ඉන්නන් සාමාන්‍යයෙන් අවුරුදු දෙකකට වඩා කල් පවතින්නේ නෑ. ඊට විරුද්ධව ශරීරයේ වර්ධනය වන ප්‍රතිශක්තිය මඟින් එය ඉබේටම නැති වී යනවා. එහෙත් සමෙහි ගන වීම් ඊට වඩා වැඩි කාලයක් තිබිය හැකියි. ඒ වගේම එසේ ගන වූ සම මත වෙරුකා වෛරස් ඉන්නන්ද ඇති විය හැකියි. එය කලාතුරකින් දැකිය හැකි තත්ත්වයක්.
සමේ ගන වීමක් හෝ වෙරුකා ඉන්නෙක් සැරව ගෙඩි බවට පත්වීමට පුළුවන්ද?
එය තීරණය වන්නේ පිරිසුදු බව හා අපිරිසුදු බව මතයි. බොහෝ අය සමේ ගන වීමක් දුටු විගස එය කපා ඉවත් කිරීමට උත්සාහ කරනවා. ඒ සඳහා භාවිත කරන පිහිතල හෝ රළු මතුපිට සහිත අපිරිසුදු උපකරණ නිසා විෂබීජ ශරීරගත වී සැරව ගෙඩි බවට පත්වීමට පුළුවන්. ඒ වගේ ගල්තැළුම් ඇති අය පාවහන් නැතිව අපිරිසුදු ස්ථානවල ඇවිදීමෙන් ද ඉතා පහසුවෙන් විෂබීජ ඇතුළු වී ආසාදනයට ලක්විය හැකියි. එසේ ඇතිවන සැරව ගෙඩි ඉතා වේදනාකාරී වීමට ද පුළුවන්.
එවැනි සැරව ගෙඩියකට කළ හැකි ප්‍රතිකාරය කුමක්ද?
එවැනි අවස්ථාවක කිසිම හේතුවක් නිසා හෝ අපිරිසුදු උපකරණ භාවිතයෙන් සැරව ගෙඩිය කැඩීමට හෝ ඉවත් කිරීමට උත්සාහ නොකළ යුතුයි. වෛද්‍යවරයකු වෙත ‍ෙයාමු වීම වඩාත් සුදුසු අතර, එහි දී සැරව ගෙඩිය අවට හිරිවැටීමට සලස්වා සුළු ශල්‍යකර්මයක් මඟින් එය පලා සැරව ඉවත් කරනු ඇත. ඒ සඳහා ඇති එකම ප්‍රතිකර්මය එයයි.
වෙරුකාවක් තවත් කෙනෙකුට බෝවිය හැකිද?
වෙරුකා ඉන්නෙක් නැති කෙනකු ගේ එම වෛරසයට විරුද්ධව ප්‍රතිශක්තිය වර්ධනය වී නොතිබේ නම්, ඉන්නන් බෝවීමේ හැකියාව තිබෙනවා. ඉන් වැළකීමට නම් ඉන්නන් ඇති අය පරිහරණය කරන තුවා මේස් සහ ඇඳුම් පැලඳුම් නිරෝගී අය භාවිත නොකළ යුතුයි. එවිට වෛරසය ශරීරගත වීම වළක්වා ගත හැකියි. ඒ වගේම පවුලේ කෙනකුට වෙරුකාවක් හට ගෙන තිබේ නම් එය ඉක්මනින් සුවකර ගත යුතුයි.
වෙරුකා ඉන්නන් සඳහා කළ හැකි ප්‍රතිකාර මොනවා ද?
එම වෛරස් නැසීමට විශේෂ ප්‍රතිකාර නැතත් සැලිසිලික් ඇසිඩ් හා ෆොමැල්ඩිහයිඩ් අඩංගු ඖෂධ වෙරුකාව මත ආලේප කළ හැකියි. එවිට ඉන්නා මත ඇති සෛල විනාශ වීම නිසා වෛරසය ද විනාශ වී යන අතර තවත් කෙනකුට ‍බෝවීම වළක්වා ගත හැකියි.
සමේ ගනවීමක්, එසේත් නැතිනම් ගල්තැළුමක් වේදනාකාරී විය හැකි ද?
ඔව්. සමහර අයට එම ගන වීම් තෙරපීමේ දී දැඩි වේදනාවක් දැනෙනවා. ඒ වගේ ම පාවහන් ආදියට තෙරපීමට ලක්වන තැන්වල සම ගන වෙනවා. ඒ සඳහා ඔබ කළ යුතු වන්නේ පාදයේ ප්‍රමාණයට ගැළපෙන ලෙස සුව පහසු පාවහන් යුගලයක් තෝරා ගැනීමයි. මීට අමතරව ගන වී ඇති කොටස නෑමෙන් පසු මෘදු ගලක් හෝ සුදුසු උපකරණයක් මඟින් උලා සූරා දැමිය යුතුයි. එසේ නොකළේ නම් ගන වූ සම තට්ටුව යට වේදනාකාරී දිය බුබුළු ඇතිවිය හැකියි.
යම් යම් උපකරණ භාවිතය නිසා අත්ලේ ඇතිවන වේදනාකාරී ගනවීම් සමනය කර ගත හැකි ද?
අත්ලේ ඇතිවන එවැනි ගනවීම් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ කරගැට ලෙසයි. සම මත යමක් (උදාහරණ ලෙස උදළු මිටක් වැනි දෙයක්) නිතර නිතර ඇතිල්ලීම නිසා සම ගන වීමට අමතරව ඒ සම මිය යාම ද සිදු වෙනවා. එම කොටස වේදනාකාරී නොවුණත් ගනවී මියගිය සමට යටින් කොටසේ ආසාදනයක් ඇති වෙනවා. කරගැටය තෙරපීමේ දී ඊට යට ඇති ආසාදනයට ලක්වූ පටක වේදනාකාරී විය හැකියි.
ගල් තැළුම් සහ කරගැට පිළිකා බවට පත්වීමේ අවදානමක් තිබෙනවා ද?
සමහර අය සමේ ඇතිවන එම ගනවීම් කටු පිළිකා ලෙස හැඳින්වුවද මේවා කිසිසේත්ම පිළිකා බවට පත්වන්නේ නෑ. වෛරස් මඟින් ඇතිවූ වෙරුකාවක් නම් අවුරුදු දෙකක් තුළ ප්‍රතිකාරයක් නොකළ ද ඉබේම සුව වෙනවා. ගල් තැළුමක් වැනි සම ගන වීමක දී නම් මෘදු ගලකින් අතුල්ලා එය තුනී කර ගැනීමට පියවර ගත යුතුයි. එසේ වුවද සමහර විට සමෙහි ඇතිවන පිළිකාවක් මුල් අවදියේ දී ගල් තැළුමක් හෝ ඉන්නෙක් හෝ ලෙස වරදවා තේරුම් ගත හැකියි. ඒ පිළිබඳව සැකයක් මතු වූයේ නම් ඔබ කළ යුතු වන්නේ වහාම සුදුසු වෛද්‍යවරයකු වෙත යොමු වී පරීක්ෂා කර ගැනීමයි.
ගල් තැළුමක් ශල්‍යකර්මයකින් ඉවත්කළ පසු තුවාලය සුව වීමට කාලයක් ගත වෙනවා කියන්නේ ඇත්ත ද?
සාමාන්‍යයෙන් ශල්‍යකර්මයකින් පසු දින දහයකින් පමණ තුවාලය සුව විය යුතුයි. යම් හෙයකින් ගන වූ කොටස සම්පූර්ණයෙන් ඉවත් නොවී තිබුණේ නම් එය සුව වීමට කාලයක් ගතවිය හැකියි. විෂබීජ ආසාදනය වූයේ නම් එය ද තුවාලය සුව නොවීමට හේතුවක්.
කරගැටයක් එලෙසම තිබෙන්නට හැරීමෙන් එය පුපුරා යා හැකි ද?
පුපුරා යාමකට වඩා සිදුවන්නේ සම වියළීමයි. සම අභ්‍යන්තරයෙන් පැසවීමටත් ඉඩ තිබෙනවා. දැඩි වේදනාකාරී බවක් ඇතිවන්නේ එවිටයි.
යටිපතුල් පිපිරීම හා ගල් තැළුම් අතර සම්බන්ධයක් තිබෙනවා ද?
නෑ. ගල් තැළුම් හා යටි පතුල් පැළීයාම අතර සම්බන්ධයක් නෑ. වාතාශ්‍රයේ ඇති ආර්ද්‍රතාව අඩු වූ විට, ශරීරයේ ජල ප්‍රමාණය අඩු වූ විට යටි පතුල් පිපිරීමට ලක් වෙනවා. තෛලමය ආලේප භාවිතයෙන් මේ තත්ත්වය වළක්වා ගත හැකියි. විශේෂයෙන් ඔලිව් තෙල් හා වැස්ලින් ආලේපන මේ සඳහා වඩාත් සුදුසුයි.
සමහර මේස් වර්ග සම ආසාදනය කරනවා කියන කතාව ඇත්ත ද?
ඔව්. දහදිය උරා නොගන්නා හා අපිරිසුදු මේස් වර්ග භාවිතයෙන් විෂබීජ ආසාදනය වී අසාත්මිකතා ඇතිවිය හැකියි. කපු රෙදිවලින් මැසු මේස් භාවිතය හා දිනපතා සෝදා හොඳින් අව්වේ වේළා ගත් මේස් භාවිතයට හුරුවීමෙන් මේ තත්ත්වය වළක්වා ගත හැකි අතර මේස්වලින් වහනය වන අප්‍රසන්න දුර්ගන්ධයන් ද වළක්වා ගත හැකියි.
ගල් තැළුම් ඇති කෙනෙක් දිවීම වැනි ක්‍රියාවල නිරත වීම නුසුදුසු ද?
ඔව්. දුවන විට පාදය පො‍ළොවට තදින් ස්පර්ශ වෙනවා. එවිට සම මත ගන වීම් වර්ධනය විය හැකියි.
කෙනෙක් පානය කරන ජල ප්‍රමාණය හා ගල් තැළුම් අතර සම්බන්ධයක් තිබෙනවා ද?
හොඳින් ජලය පානය කිරීමෙන් සමේ තෙතමනය ආරක්ෂා වෙනවා. සම වැඩිපුර වියළීමත් ගන වීම් ඇතිවීමට හේතු වෙනවා.
ගල් තැළුම්වලට කරන අත්බෙහෙත් අසාත්මික විය හැකි ද?
සමහර අය ගල් තැළුම මත ලුණු කුඩු දමා ඒ මත රත්වූ පොල්තෙල් ආලේප කරනවා. මෙය ඉතා වේදනාකාරි හා ඇතැම් විට ආසාදනමය තත්ත්වයක් පවා ඇති කළ හැකියි. යටි පතුලේ වෙරුකාවක් (ඉන්නෙක්) හෝ ගනවීමක් (ගල්තැළුමක්) සෑදී ඇති විටක උණුසුම් ජලයේ විනාඩි 5 ක් 10 ක් පමණ පාදය පෙ‍ඟෙන්නට හැර පිරිසිදු තුවායකින් පිස දමා වියළාගන්න. සම ගන වී ඇති කොටස පිරිසිදු උපකරණයක් හෝ ගලක් උලා තුනී කර ගන්න.
ඔසු සලකින් හෝ ඔබේ වෛද්‍යවරයා විසින් හෝ ලබා දුන් සැලසිලික් අම්ලය හෝ ෆෝමැල්ඩිහයිඩ් අඩංගු ඖෂධය එය මත ආලේප කරන්න. එසේත් නැතිනම් ඔසු සලකින් ලබාගත් එම ඖෂධ යොදා පිළියෙල කර ඇති ප්ලාස්ටරය ඒ මත අලවන්න. ගනවීම සුව වනතුරු දින දෙක තුනකට වරක් එසේ කළ යුතු අතර වේදනාව වැඩිවන ස්වභාවයක් දැනෙනවා නම් පමණක් නැවත වෛද්‍යවරයා හමුවන්න.‍

-silumina-

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.