ඒ කාලේ පුතා පාරේ ක්‍රිකට් ගහලා ගෙවල් කීපයකම වීදුරු බිඳලත් තියනවා
නවක සුපිරි පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ මව පී.වී. ස්වර්ණලතා
අපේ ක්‍රිකට් කණ්ඩායමට එක්වූ නවක ක්‍රීඩකයන් අතරින් කුසල් ජනිත් පෙරේරා මේ වනවිට බොහෝදෙනාගේ අවධානයට ලක්ව හිඳින ප්‍රවේගකාරී පිතිකරුවෙකි. විශේෂයෙන්ම ඔහුගේ ක්‍රීඩා විලාසය අපට සිහිගන්වන්නේ අපේ රටෙන් බිහිවූ සුපිරි පිතිකරු සනත් ජයසූරිය නැවත ක්‍රීඩා කරන්නාක් බඳු හැඟීමකි. මේ නිසා ඇතැමුන් ‘පොඩි සනා’ යන ආදරණීය නාමයෙන් කුසල් ජනිත්ව හඳුන්වනු අපට අසන්නට ලැබේ. අනාගතයේදී දීප්තිමත් ක්‍රිකට් තරුවක් වන බවට ඉඟි පළ කෙරෙන මෙම යොවුන් පිතිකරුවා පිළිබඳව ඔහුගේ ආදරණීය මව වන පී.වී. ස්වර්ණලතා සමග කළ සුහද කතාබහකි මේ.
* පිටිය මැදදීනම් කුසල් ප්‍රවේගකාරී පිතිකරුවෙක්. සාමාන්‍ය ජීවිතයේදී ඔහු මොනවගේ කෙනෙක්ද?
එයා බොහොම නිහඬ කෙනෙක්. අත්‍යවශ්‍යම දෙයකදී හැර එයාගේ කතාබහ හරිම සීමා සහිතයි. හැබැයි බැරිවෙලාවත් අපි එහෙම තරහින් කතා කළොත් නම් එදාට එයාගෙන් වචනයක් අරගන්න එක ගලකින් පට්ටයක් ගන්නටත් වඩා අමාරුයි. අවුරුදු විසි තුනක් වුණත් තාමත් එයා හරිම සංවේදී දරුවෙක්. මං ගෙදර නොහිටියොත් දවසක් හරි බඩගින්නේ ඉඳියි. ගෙදර හිටියොත් බත් කවන්නත් ඕන මමමයි.
* අඩු තරමින් ක්‍රිකට් තරග ගැනවත් එයත් එක්ක කතා කරන්න කැමති නැද්ද ?එයා බොහොම නිහඬ කෙනෙක්. අත්‍යවශ්‍යම දෙයකදී හැර එයාගේ කතාබහ හරිම සීමා සහිතයි. හැබැයි බැරිවෙලාවත් අපි එහෙම තරහින් කතා කළොත් නම් එදාට එයාගෙන් වචනයක් අරගන්න එක ගලකින් පට්ටයක් ගන්නටත් වඩා අමාරුයි. අවුරුදු විසි තුනක් වුණත් තාමත් එයා හරිම සංවේදී දරුවෙක්. මං ගෙදර නොහිටියොත් දවසක් හරි බඩගින්නේ ඉඳියි. ගෙදර හිටියොත් බත් කවන්නත් ඕන මමමයි.
ක්‍රිකට් ගැන වුණත් එයා කතා කරන්නේ වචනයයි දෙකයි. කවුරු හරි ක්‍රිකට් තරග ගැන කතා කරන්න ගියොත් හිමීට එතනින් මග හැරලා යන එක එයාගේ හැටියක්. සමහර වෙලාවට මේ දරුවා මේ තරම් නිහඬ චරිතයක් වුණේ කොහොමද කියල අපිට හිතාගන්නත් බැහැ.
* කුසල් ක්‍රීඩා කරනවිට ක්‍රිකට් ප්‍රේක්ෂකයින් තුළ සුපිරි පිතිකරු සනත් ජයසූරිය පිළිබඳ මතකය යළිත් අවදි වෙනවා. ඇතැමුන් කියන්නේ කුසල් සනත්ව අනුකරණය කරන්නට උත්සාහ කරන බවයි.
ඒකනම් මට කීයටවත් විශ්වාස කරන්න බැහැ. මොකද පුතාගේ ලෝකයේ ක්‍රිකට් වීරයෙක් තමයි සනත් ජයසූරිය. පුංචිම කාලයේ ඉඳලා ක්‍රිකට් තරග බැලුවත් එයා ප්‍රියකරන්නේ මුල් ඕවර කිහිපයේ සනත් සහ රොමේෂ් ක්‍රීඩා කරන ප්‍රවේගකාරී පිතිහරඹය නරඹන්නයි. සනත් අවුට් වුණොත් ඊට පස්සේ මැච් බලන්න එයා එච්චර උනන්දු නැහැ. මට මතකයි මෙයාට අවුරුදු පහක විතර කාලේ අපි කතරගම දේවාලයේ පූජාවකට ගියා. එදා දේවාලයේ සෑහෙන සෙනඟකුත් හිටියා. ඔන්න අපි පූජාව තියන්න ලෑස්තිවෙලා බලනකොට කුසල් අපි ළඟ නැහැ. පස්සේ අපි දෙවියන්ට කියකියා හැම තැනකම හොයනකොට මෙන්න මෙයා රූපවාහිනියක් ඉස්සරහ ක්‍රිකට් තරගයක් බලනවා. පුදුමේ කියන්නේ ඒ වෙලාවෙත් ක්‍රීඩා කරමින් හිටියෙ සනත් ජයසූරියයි තවත් ක්‍රීඩකයෙකුයි.
* කොයි කාලේ වගේද කුසල්ට ක්‍රිකට් ගැන උනන්දුවක් ඇති වුණේ?
යන්තම් තේරෙන කාලේ ඉඳලම එයා අනිත් සෙල්ලම් බඩුවලටත් වඩා ප්‍රිය කළේ බැට් බෝලවලට. නිදාගන්න ගියත්, කවන්න ගියත් මෙයාට බැට් එකයි බෝලෙයි ඕන. අදටත් ඒක එහෙමමයි. පාසල් යන වයස සම්පූර්ණ වුණාම මෙයා කොට්ටාව ධර්මපාල විද්‍යාලයට ඇතුළු කළා. ඊට පස්සේ ක්‍රිකට් ගැන තිබුණු උනන්දුව තවත් වැඩිවුණා. පාසලේ ලොකු ළමයි
සෙල්ලම් කරනකෙට මෙයා හවස නතරවෙලා පිට්ටනිය එළියේ ඉඳන් බෝලේ අහුලලා දෙනවා. කොහොම හරි ක්‍රිකට් ගැන මෙයාගේ මේ අසීමාන්තික කැමැත්ත හා උනන්දුව ගැන විශේෂ අවධානයෙන් කෙනෙක් ඉඳලා තිබුණා. ඒ තමයි එම පාසලේ ක්‍රිකට් පුහුණුකරු දුමින්ද ගුණසේකර සර්. අහලපහළ දරුවත් එක්ක සෙල්ලම් කරලා ටිකක් ලොකු වෙනකොට මෙයාට හොඳට සෙල්ලම් කරන්නත් පුළුවන්කම තිබුණා. පස්සේ පාසලේ ක්‍රිකට් භාර ගුරුතුමා මෙයා පාසලේ ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් කර ගන්නට දෙමාපියන්ගේ අවසරය ලබා ගැනීම සඳහා ලිපියක් එවා තිබුණා. කුසල්ගේ තාත්තා (එම්.ඩී. කිත්සිරි පෙරේරා) නම් කුසල් කුකුල් කේන්ති කාරයා නිසා ක්‍රීඩා කරන්නට ගොස් ගැටුම් ඇතිකරගනීවි කියලා ඒ ලිපියට අත්සන යෙදුවේ නැහැ. ඒත් ඒ වෙනකොට මේ ඉස්සරහ පාරේ ක්‍රිකට් ගහලා ගෙවල් කීපයකම වීදුරු බිඳලා තිබුණ නිසා අන්තිමට අදාළ ලියවිල්‍ලේ මම අත්සන ගහලා ක්‍රීඩා ගුරුතුමාට බාර දුන්නා.
* ඊට පස්සේ ?
පාසලේ ක්‍රිකට් කණ්ඩායමට ඇතුල් කරගත්තට පස්සේ මෙයාගේ ක්‍රීඩාව ගැන තිබුණු උනන්දුව දෙතුන් ගුණයකින් වැඩිවුණා. පාසලේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක් බවට පත්වුණ පුතා ඇස්ට්‍රා කුසලානය සඳහා පැවති තරගවලින් 12 පහළ මට්ටමෙන් ලංකාවෙන්ම වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා විදිහට සම්මානයට පාත්‍ර වුණා. මේ උත්සවය තිබුණෙ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ.
* ක්‍රිකට් ගැන තිබුණ උනන්දුව නිසා අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වුණේ නැද්ද?
ක්‍රිකට් ගහන අතරේ ඉස්කෝලේ වැඩකටයුතු නම් අතපසු වීමකින් තොරව කරගෙන ගියත් ඔය අමතර පන්තිවලට නම් යවා ගන්න හරිම අමාරු වුණා. ඉස්කෝලේ ඇරලා ගෙදර ඇවිල්ලා කෑම කාල ඇඳුම් මාරු කරගෙන හිමින් සැරේ තාප්පෙන් පැනලා පිට්ටනියට යනවා. බැරිම තැන මම දවසක් දඬුවම් කරන්න හදනකොට මම කවදා හරි ක්‍රිකට් ගහලා පිටරට යනවා කියලා හරිම මුරණ්ඩු විදිහට කිව්වා. ඒත් අපි නම් හීනෙකින්වත් හිතුවේ නෑ පුතා මේ තරම් ඉක්මනට ඒ හීනය සැබෑ කර ගනියි කියලා.හැබැයි 2004 දී දිනපොතක ලියලා තිබුණා එයා 2011 ලංකා ටීම් එකට සෙල්ලම් කරනවා කියලා. හරියටම ඒ කාලයේ එයාගේ බලාපොරොත්තු ඉෂ්ට වුණා.
* කොට්ටාව ධර්මපාලයට ගිය කුසල් කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වුණේ කොහොමද ?
ඒකත් අපූරු සිදුවීමක්. අවුරුදු පහළොවෙන්පහළ ක්‍රිකට් තරගාවලියක් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ තිබුණා. මේ තරගයට සහභාගි වුණ පුතා එදා වේගවත් ලකුණු 103ක් ගත්තා. විශේෂත්වය වුණේ පුතාගේ වේගවත් පහරවල්වලට බෝල් කිහිපයක් නැති වීමයි. පස්සේ තරගය අඛණ්ඩව පවත්වාගෙන යන්නට විනිසුරුගේ සාක්කුවේ බෝල කිහිපයක්ම තබා ගන්නට සිදු වුණා. පුතාගේ තාත්තා නරඹපු පළමු ක්‍රිකට් තරගයත් මෙයයි. මේ තරගයේදී එයා දැක්වූ දක්ෂතාවය නිසා ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින්ගේ අත්සන සහිත වටිනා ක්‍රිකට් පිත්තක් එවකට ජාතික ක්‍රිකට් පිලේ පුහුණුකරු වශයෙන් කටයුතු කළ ටොම් මූඩි විසින් පිරිනැමුවා. මේ පුවත ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා සඟරාවකද පළකර තිබුණ, අතර එම ලිපියද සමග පුතාගේ අනාගත ක්‍රිකට් දිවියට සුබ පතා රිකී පොන්ටින් ලිපියක්ද එවා තිබුණා. මේ තරගාවලියෙන් පස්සේ පුතාට ප්‍රධාන පෙළේ පාසල් කිහිපයකින්ම ඉල්ලුම් එන්නට පටන් ගත්තා. රාජකීය විද්‍යාලයට ඇතුළත් වුණේ ඒ අනුවයි.
* එහිදී ඔහු දැක්වූ දක්ෂතාවයන් පිළිබඳව සිහිකළොත්
රාජකීය විද්‍යාලයට පුතා ඇතුළත් වුණාට පස්සේ චූලක අමරසිංහ, විජය මලලසේකර වැනි මහත්වරුන් නිසා පුතාගේ දක්ෂතාවයන් තව තවත් ඔපමට්ටම් වුණා. වසර පහළොවකට පස්සේ රාජකීය විද්‍යාලයට ක්‍රිකට් කිරුළක් හිමිකර දෙන්නට පුතාගේ පිතිහරඹය හේතු වුණා. එදා එයා වේගවත් ලකුණු 145 රැස් කළේ මුළු පාසලේම අවධානය තමන් සතු කරගෙනයි. රාජකීය විද්‍යාලයෙන් ක්‍රීඩා දක්ෂතාවන් සඳහා ක්‍රීඩකයකුට පිරිනමන රන් ඔටුන්නේද හිමිකම ලැබිමට තරම් පුතා වාසනාවන්ත වුණා.
* කුසල් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස අද සිටින ස්ථාවරත්වය ගැන ඔබට දැනෙන හැඟීම මොන වගේද ?
අම්මා කෙනෙක් විදිහට අද මගේ පුතා ඉන්න තත්ත්වය ගැන මට වඩා සතුටට පත්වන තවත් කෙනෙක් නෑ. මේක එයාගේ දක්ෂතාවයේ කැපවීමේ ප්‍රතිඵලයක්. පුතාගේ වාසනාවට හොඳ පුහුණුකරුවන්, විදුහල්පතිවරුන් ඇතුළු විශාල පිරිසක් එයාට ගොඩක් උදව් කළා. ඒ හැමෝම අද පුතා ගැන හද පතුලෙන්ම සතුටට පත්වෙනවා ඇති.
* අවසන් වශයෙන් කුසල්ගේ පෙම්වතිය ගැනත් සඳහනක් කළොත් ?
ඒ ගැන නම් කිසිම දෙයක් කියන්න මම දන්නේ නැහැ. හැබැයි අපිට නම් කියල තියෙන්නේ එයාට මනමාලියන් හොයන්න එපා කියලයි. අපි හිතනවා එයාගේ සිතුම් පැතුම් තේරුම්ගත්ත ගුණයහපත් දියණියක් ඔහුගේ සහකාරිය විදිහට තෝරා ගනීවි කියලා. මොකද පුතා නරක දෙයක් කරගන්නේ නැහැ කියලා අපිට හොඳටම විශ්වාසයි. එහෙම කියන්නේ දැනටත් පවුලේ හැම බරක්ම කරට ගනිමින් අප දෙන්නා ගැන වගේම නංගිගේ අධ්‍යාපන කටයුතු ගැනත් හොඳට හොයල බලල තාත්තා කෙනෙක් වගේ කටයුතු කරන නිසයි.
-lankadeepa
No comments:
Post a Comment