තාත්තා හරියට මහා බ්‍රහ්මයා වගෙයි හැන්දෑවට ගෙදර එන්නේ හතර ගාතෙන්
බළන්ගොඩ නගරයෙන් තරමක් දුරින් පිහිටි විදුහලක ඉගෙනුම ලබන සිසුන් හයදෙනෙක් පමණ දිනපතාම පාසලට යන්නේ පාගමනින්ය. සැතැපුම් දෙකක් පමණ දුරක් වාහන ගමන් නොකරන මාර්ගයක් ඔස්සේ මෙසේ යද්දී ඥානපාල අනෙක් පස්දෙනාගෙන්ම විවිධ ප්‍රශ්න අසයි. මොහු අසන ප්‍රශ්න පිළිතුරු දීමට නොහැකි, අගක් මුලක් නැති ප්‍රශ්නය. එහෙත් මෙම හේතුව නිසා අනික් මිතුරන් පස්දෙනාම අසීරුවට පත්වෙති. දිනක් ඇසූ එවැනි ප්‍රශ්නයක් නිසා කවුරුත් මුහුණට මුහුණ බලාගත්හ.
“මහා බ්‍රහ්මයාට කකුල් කීයක් තියෙනවාද?” එම ප්‍රශ්නයට රම්‍යපාල පිළිතුරක් දුන්නේය.
“මහ බඹාට කකුල් නැහැ.”
“උඹ කොහොමද එහෙම කියන්නේ?” යැයි කියා ඥානපාල පිළිතුර සනාථ කරන ලෙසට පැවසූ විට “ඇයි පෙරහරේ යන මහ බඹාට කකුල් නැහැනේ. ඒ වුණාට පාවෙනවා වගේ යනවා නේදැයි” කීවේය.
“ඒ මහ බඹානේ.. ඒ වුණත් ඒක පිළිගන්න බෑ. ඒක ඔසවාගෙන යන මිනිහාගේ කකුල් දෙක උඹ දැකලා නැද්ද?” යි අසා පිළිතුර වැරදි බව කීවේය.
මෙම කණ්ඩායමේ දැනුම අඩුම, එසේම පන්තියේම දුර්වලයා ලෙස හඳුන්වන සිරිපාල “මම දෙන්නම් උත්තරේ” යැයි කී විට “අනේ උඹ ඉතින් මොට්ටපාල නේ. පුළුවන් නම් දීපන්කෝ උත්තරේ” යැයි අනෙක් මිතුරන් පැවසූහ.
“මහා බ්‍රහ්මයාට කකුල් හතරයි” උජාරුවෙන් කීවේය.
“හොඳයි. ඒක ඔප්පු කරපන්” යැයි ඥානපාල කියන විටම “අහගනිල්ලා” යැයි අමුතු කතාවක් කියන්නට මුල පිරීය.
“බුද්ධාගම පාඩමේදී ටීචර් කිව්වා නේද තාත්තා හරියට මහා බ්‍රහ්මයා වගෙයි කියලා. ඉතින් අපේ තාත්තා හැමදාම වගේ හැන්දෑවට ගෙදර එන්නේ හතර ගාතෙන්. ඉතින් හරි නැද්ද මගේ උත්තරේ?” යැයි කී විට ඥානපාල නිරුත්තර විය. එදා පටන් ඥානපාල ප්‍රශ්න ඇසුවේ නැත්තේ මොට්ටපාලට පැරදුණු නිසා යැයි අනෙක් සිසුන් පැවසූහ.
No comments:
Post a Comment